Powered by Blogger.
RSS

සතුටින් ජීවත් වීම


නිකිණි,බිනර,වප් තුන් මස වස් සමය ලෙස සැලකෙන අතර උත්සවශ්‍රීයෙන් පැවත්වෙන කඨින පින්කමකින් වස් සමය නිමා කිරීම මේ දිනවල සෑම පෙදෙසකම දැකිය හැක්කකි.

මාගේ මිත්තණියක ද වස් සමාදන් වනු පිණිස උපසම්පදා මෙහෙණින් වහන්සේ නමකට ඇරයුම් කර තිබුණි.මිත්තනියගේ නිවස ඒ සදහා යොදා ගත් අතර එතැන් පටන් එය තවදුරටත් 'අත්තම්මාගේ ගෙදර' නොවූ අතර 'වස් ආරාමය' නම් විය.අත්තම්මා ද දස සිල් සමාදන්ව වස් තුන්මස ගෙවීම සිදු කල අතර මම ද නිරන්තර එහි ගැවසීම ප්‍රිය කලෙමි.



ආරාමය පිහිටියේ ඉතා නිස්කලංක පරිසරයක වූ අතර,කුරුල්ලන්ගේ ගී හඩ,ලේනුන්ගේ ටිං ටිං හඩ විනා හාත්පස නිහඩබව පතිරගත්තකි.බුදු මැදුර දෙසින් නිරන්තරයෙන් හමා ආවේ මල් හා හදුන්කූරු සුවදකි.සිත ගත එක්තැන් කොට භාවනාවේ යෙදීමට කදිම වටපිටාවක් විය.



හිරුට පෙර පිබිදීම සිදුකල මා කොළ කැද හෝ උදෑසන දන් පිනිස යමක්ද,මල්  සහ හදුන්කූරු ද ‍රැගෙන ආරාමය බලා යෑම මාගේ දෛනික ක්‍රියකාරකම් ගොන්නට ඇතුලත් කර ගතිමි.


මෙහෙණින් වහන්සේ සහ අත්තම්මා පාන්දර තුනට පිබිදී භාවනාවන්හි යෙදෙති.කෙසේ හෝ උදෑසන මල් පූජාවට ප්‍රථම මා එහි යෑමට සමත් වෙයි.පැන් පහසුවට පැන් සකසා,සිවුරු දෝවනය කර,මිදුල ඇමදීම මම ඉතා සතුටින් ඉ‍ටු කලෙමි.

මෙහෙණින් වහන්සේ ඉතා කරුණාවය.ප්‍රසන්නය.සන්සුන් ගති ඇත්තෝ වෙති.දන් වළදා පැන් පහසු වීමෙන් අනතුරුව මට බණ කතන්දර කියා දෙති.ඉන් බොහෝමයක් ජාතක කතන්දර වන අතර සුරයන් හා අසුරයන් පිලිබද කතන්දර ඇසීම මා වඩාත් ප්‍රිය කෙරේ.නිදහස් වේලවන්හි එම කතන්දර මාගේ මිත්‍ර සමාගමේ කුඩා සාමජිකයන්ට මා කියා දෙන්නේ ඉමහත් වින්දනයකිනි.අපාය පිලිබද කතා මෙන්ම අමනුශ්‍ය ආත්ම පිලිබද කතා ඔවුන් අසා සිටින්නේ අයා ගත් මුවින් යුතුව වන අතර ඇතම් විට මට සිනහද  පහල වෙයි.


කෙසේ වෙතත් ජාතක කතාවන්ට අමතරව උන්වහන්සේ මා කෙරේ ජීවිතය පිලිබදවද ඉතා වටිනා කතන්දර,කරුණු කාරණා ‍රැසක්ම කියා දුන්හ.පරතෙරක් නොමැති දිවි ගමනට අරුතක් සොයන අයුරු ද,සිතෙහි මහිමයෙන් විශ්මය දනවන දෑ සිදු කිරීමේ අයුරුද,අත් හැරීම තුලින් ජීවිතය විදගන්නා අයුරුද මම මැනවින් උගත්මි.



අසිරිමත් දිවි ගමන පිලිබද මා සිත්ගත් දැයින් පොඩියක් හර කොට දක්වීමට කැමැත්තෙමි.



'ජීවිතය අරුම පුදුම දෙයැකි.එය සාර්ථකත්වය කරා ‍රැගෙන යාම අන් කිසිවකු විසින් නොව අපම සිදු කල යුත්තක් වෙයි.


මරණය ගැන සිහි කිරීම,ඔබව ජීවත් කරවීමට,ජීවිතය අරුත් ගැන්වීමට උත්සුක වනවා ඇත.ජීවත් වීමට ඔබට ඇත්තේ තවත් හෝරා කිහිපයකැයි සිතුවහොත් ඔබ දැනට ජීවත් වන පිලිවෙල නිතැතින්ම වෙනස් කර වඩාත් අර්ථවත් යමක් ජීවිතයට එක් කර ගන්නවා නියතය.දුකින් කණගා‍ටුවෙන් ජීවත් වීම අත්හරිනා අතර,ලැබෙන අවස්ථා භාරගැනීමට නොපසුබට වනු ඇත.එසේම අවදානම් භාර ගැනීම හා හදවත ආදරයට විවෘත කිරීම ද ඔබ සිදු කරනු ඇත.


ජීවිතය වීදුරු බදුනක් සේ සලකන්න.යම් පලුදු වීමක් සිදු වුවහොත් නැවත එය සැකසීමට ඔබට වරම් නැත.බිදී කුඩුවී ගිය කල්හි නැවත යථා තත්ත්වයට පත් කල නොහේ.එම නිසා ප්‍රවේසමින් ‍රැක ගත යුත්තකි.


තමන් අකමැති දෙයක් හමුවේ අනුන්ට දොස් පැවරීම නොකලමනාය.එය ඔබව අසරණයෙක් බවට පත්කරයි.මන්ද යත් ඔබ ඔබට වෙනස් වීමට ශක්තිය නොමැතිව අනුන් වෙනස්වීම බලාපොරොත්තු වන්නෙකි.එසේ නොවන්න.ඔබම වෙනස් වන්න.



මතකයට ගන්න ලෝකය හා ජීවිතය අතිශය විශ්මය ජනක ලෙස ක්‍රියාකාරී වෙයි.ඔබේ ජීවිතයට ඇතුල්වන සෑම කෙනෙකුම ඔබ වෙතට එන්නේ ඔබට ඉගෙන ගැනීමට තිබෙනා පාඩම ඉගැන්වීමට වඩාත් සුදුසුම අවස්ථාවේ බැව් විශ්වාස කරන්න.


සතුටින් සිටීමට ජීවත් නොවන්න.යහපත් දේ සමග ජීවත් වන්න.නිසැකවම එය ඔබ සතුටින් තබනවා ඇත.


පසුතැවිලි වන දෑ නොකරන්න.යමක් කිරීමට පෙර වරක් දෙවරක් නොව තුන් හතර වරක් සිතුවද වරදක් නැත.


අවසන් වශයෙන් කිවහොත්,


ජීවිතය සොයා යන්න.නිසැකවම ඔබ එහි අරුත වටහා ගන්නවා ඇත'






Related Posts Plugin for WordPress, Blogger...
  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 දෙනෙක් අදහස් කියලා:

Post a Comment