මෙය ලිවීමට පෙර මා දෙවරක් තුන්වරක් නොව,හතර පස් වරක්ම සිතුවෙමි.අවසානයේ ලිවීමට තීරණය කලෙමි.
ඔහු පිලිබද මට ඇත්තේ නොපැහැදිලි මතකයකි.නමුත් මාගේ ලෝකයේ සුපිරි වීරයා ඔහු ය.ලොව අන් කිසි කෙනෙකුටත් වඩා මා ඔහුට ආදරය කරමි.ඔහු හා ළංව සිටීමට,සුරතල් වීමට දෛවය මට ලබා දුන් කාලය වසර තුනකට සීමා විය.නමුදු අදටත් එම ආදරය එසේමය.මා මිය යන තෙක්ම නොවෙනස් ය.ලේ ඇට මස් නහර විනිවිදින සෙනෙහසක් ඔහු කෙරේ මා සතුවෙයි.මා කෙරේ ද එය එසේම බව සක් සුදක් සේ දනිමි.
ඔහු පිලිබද මා සතු සුන්දර මතකයන් රැසකි,ඉන් වැඩිමනක් මා ලද අත්දැකීම් නොව අන් අය ඔහු පිලිබද පවසනු ආසාවෙන් අසා ඉදීමෙන් ගොනු කොට ගත් දෑ ය.
ඔහු ඉතා සරල හිත හොද මිනිසෙකි.කඩවසම්ය.පැහපත්ය.මනා පෞර්ශයකින් හෙබි පුද්ගලයෙක්ම විය.දිරිමත්ය.සැමවිට සිනහවෙන් කල් ගෙවයි.ජීවිතය පිලිබද ඉතා සැහැල්ලු ආකල්පයක් පවත්වාගෙන ගිය ඔහු විනෝදයට බරය.සතුට ඔහුගේ ජීවිතය හා බැදි දෙයක් විය.නිහතමානී ගතිගුණ තිබූ ඔහු හට ඇති නැති සැවොම එක සමාන විය.ඒ නිසාදෝ මට මෙන්ම දන්නා හදුනනා හැමට ඔහු ඉතා සුවිශේශී පුද්ගලයෙකු විය."සල්ලි නොව මිනිසුන් ඉපැයීම" මා ඉගෙන ගත්තේ ඔහුගෙනි.
මා ද ඔහුට ඉතා සුවිශේශී වූ බව නොකිවමනාය.'කෙල්ල කොටේ'යැයි මා අමතනු මට මතකය.'බෝල බනිස් ගේන්න'යැයි මා පවසනවා ද මට හොදින් මතකය.මා හිස උකුලේ තබාගෙන ඉද හිට රස කතන්දර පවසනවා ද මතකය.ඒ සොදුරු බව නැවත ළං නොවන බැව් දනිමි.මම ඒ අතීතයට ඉතා ලෙංගතු වෙමි.
ඔහුගේ මුවේ හැමවිටම සිනහවක් රැදී තිබුණි.පෙනුමෙන් මා ඔහු වගේ යැයි පවසනවාට මා ඉතා කැමතිය.අදට ද සිටියා නම් කියා සිතෙනා අවස්ථා එමටය.නින්දට යන විටද,යලි ඇහැරෙන විටද මතකයට නො එන්නේම නොවේ.දෑසින් කදුලු නොනැගෙන්නේනම නොවේ.ඔහුට මා දමා යන්නට ඕනෑ විය.එහෙත් දුක් නොවෙමි.කොහේ හෝ සිට මා දෙස බලා සතුටු වන බැව් දනිමි.ආශිර්වාද කරන බැව් දැනේ.අප ජීවිත වලට අරුතක් එක් කිරීමට සැමදා වෙහෙස වූ ඔහු,අන් කිසිවෙකු නොවේ කට පුරා 'මාගේ' යැයි කිව හැකි මාගේ තාත්තා ය.
4 දෙනෙක් අදහස් කියලා:
Exactly..........
:)
touching one :)
:)
Post a Comment